News Line| Off Air
Generic placeholder image

Feb
6

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ වෙයි

1700 Views


රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ වෙයි

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබෙනවා.

රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලයට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙහි අරමුණ වනවා.

රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019 වසරේ දෙසැම්බර් මස 31 වනදා වන විට සම්පූර්ණ කර තිබිය යුතු අතර අයදුම්කරුවන් එදිනට වයස අවුරුදු 35ට නොවැඩි විය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

අයදුම්කරු අයදුම්පත ඉදිරිපත් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථිර පදිංචිකරුවෙකු සහ ආසන්න වසර 3ක කාල සීමාව තුල රැකියාවක නිරත නොවූවෙකු විය යුතුයි.

අයදුම්පත සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපතක් පෙබරවාරි 14 වනදාට පෙර ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව මගින් එවිය යුතු අතර අදාළ සහතික මුල් පිටපත අනුව සසඳා සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ නීතිඥයෙකු විසින් සත්‍ය පිටපතක් බවට සහතික කර තිබිය යුතු වනවා.

අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

රැකියා විරහිත උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධීකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01. යන ලිපිනයට අයදුම්පත් යොමු කළ යුතුයි.

ලිපියේ වම්පස ඉහළ කෙළවර උපාධිධාරියෙකු නම් උපාධිධාරී යනුවෙන් සටහන් කර දිස්ත්‍රික්කයේ නම ද සඳහන් කළ යුතු වන අතර ඩිප්ලෝමාධාරියෙකු නම් ඩිප්ලෝමාධාරී යනුවෙන් සටහන් කර දිස්ත්‍රික්කයේ නම ද සටහන් කළ යුතු වනවා.

නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙනු ඇති.

තෝරා ගන්නා පිරිස අධ්‍යාපන අමාත්‍යංශය, (ග්‍රාමීය වතු පාසල්) වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යංශය (ග්‍රාමීය රෝහල්, ඩිස්පෙන්සරි) මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුලු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව යන ක්ෂේත්‍ර වල සේවයට අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.

වසරක පුහුණු කාලය තුල රුපියල් 20,000ක දීමනාවක් ගෙවනු ලබන අතර දිස්ත්‍රික්ක පදනමින් පත්වීම් කෙරෙන බවත් පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 5ක් සේවය කිරීම අනිවාර්ය බවත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post