කොරෝනා වෛරසය හේතුවෙන් හුදෙකලා නගරයක් බවට පත්ව ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සුරතල් සතුන් මුදාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
එම සතුන්ට ආහාර සහ ජලය ලබාදීමටත් මෙහිදී පියවර ගත් බව සදහන්.
මාරාන්තික නව කොරෝනා වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරය හුදෙකලා නගරයක් බවට පත්කර මේ වන විට දින ගණනාවක් ගතවී ඇති අතර පුද්ගලයන් බොහෝ පිරිසක් වෛරසයට ගොදුරුවී ඇති බැවින් නගරයේ නිවාස රැසක් හිස්ව පවතින බව එරට වාර්තා පවසනවා.
මේ හේතුවෙන් සුරතල් සතුන් රැසක් නිවෙස්තුළ සිර වී සිටින බවද එම වාර්තාවල දැක්වෙනවා.
හිස්ව ඇති නිවෙස් තුල සුරතල් සතුන් පනස්දහසක් පමණ සිරවී ඇති බවට වූහාන්හි කුඩා සතුන් ආරක්ෂා කිරීමේ සංගමය ගණන් බලා තිබෙනවා.
ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් මේ වන විට නගර බලධාරීන් ආරම්භ කර ඇති ඇතර නිවෙස්තුළ සිරවී සිටින සරතුල් සතුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.
බළලුන් ඇතුළු සුරතල් සතුන් රැසක් තමන්ට හමුවන විට අධික කුසගින්නෙන් පෙළෙමින් සිටි බව මෙහෙයුමේ නිරත බලධාරීන් පැවසුවා.
ඇතැම් හිමිකරුවන්ට වීඩියෝ දුරකථන ඇමතුම් ඔස්සේ සිය සුරතලුන් පෙන්වීමටත් බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතර නව අවුරුදු නිවාඩුව සඳහා නගරයෙන් පිටව ගිය බොහෝ පිරිසක්ද යලි නිවෙස් වෙත පැමිණීමට නොහැකිවී සිටිනවා.