News Line| Off Air
Generic placeholder image

Feb
7

හදිසි විදුලි කප්පාදුව විමර්ශනයට විශේෂ කමිටුවක්

719 Views


හදිසි විදුලි කප්පාදුව විමර්ශනයට විශේෂ කමිටුවක්

කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව සිදු කළ හදිසි විදුලි කප්පාදුව පිළිබඳව විමර්ශනය සඳහා විශේෂ කමිටුව පත් කර තිබෙනවා.

2020.02.03 වන දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව, දිවයිනේ ඇතැම් පළාත්වල පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මේ නිසා මහජනතාව මෙන්ම රජයද දැඩි අසීරුතාවයකට මුහුණ පෑ අතර, මෙවැනි හදිසි විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කිසිදු තීරණයක් ගෙන නොතිබුණු බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන අතර වැනි තත්ත්වයක සිදුකරන ලද මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙසත් ඒ සඳහා කමිටුවක් පත්කරන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ඇමතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් (සභාපති), මහාචාර්ය රාහුල අතලගේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල සහ සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් එම කමිටුවට පත් කර ඇති අතර එම කමිටුව විසින් සිදු කරන විමර්ශන වාර්තාව 2020.02.11 දිනට පෙර ලබා දෙන ලෙසද අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

එම කමිටුව මඟින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට හේතු වු කරුණු, මෙම කප්පාදුව තාක්ෂණික තත්ත්වයන්ට අනුකූලව සිදු වුයේද යන්න, මෙම කප්පාදුව සඳහා කෙරවලපිටිය බලාගාරය වෙත ඉන්ධන සැපයීම සීමා වුයේද, මේ සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගෙන ලැබු ක්‍රියාමාර්ග, ලංකා විදුලිබල මණ්ඩලය සතුව විකල්ව ක්‍රියාමාර්ග තිබුණේද, ඉදිරි කාලයේදී මෙවැනි තත්ත්වයන්ට විකල්පයන් පවතීද යන්න මෙහිදී සොයා බැලීමට නියමිතව තිබෙනවා.

2020.02.11 දිනට පෙර කමිටුව විසින් මෙම වාර්තාව සකස් කිරීම අනිවාර්යය වන අතර, කරුණු සොයා බැලීම සඳහා අවශ්‍ය තොරතුරු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ඕනෑම නිලධාරියෙක්ගෙන් ලබා ගැනීමට, ලේඛන පරිශීලනයට හා අදාල බලාගාර වෙත ඇතුල් වීමට ඔවුන්ට බලය පවරා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post