කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා ජනපති අතර ඊයේ (06) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තේ තොගය පරිත්‍යාග කරනු ලැබුවා.
දුෂ්කර අවස්ථාවේදි චීන රජයට හා ජනතාවට ශ්‍රි ලංකා රජය හා ජනතාව දැක්වූ සහායට චීන ජනාධිපති ෂී ජිං පිං මහතා හා චීන රජය වෙනුවෙන් තානාපතිවරයා ස්තූතිය පළ කළ අතර පීඩාවට පත්වූවන්ට සෙත් පතමින් පසුගියදා සංවිධානය කළ පිරිත් පිංකමට සහාය දැක්වූ සියලු දෙනාට චීන තානාපතිවරයා ස්තූතිය පළ කළා.
එමෙන්ම වූහාන්වල සිටි සිසුන් ගෙන්වා ගැනීමට චීනය දැක්වූ සහයෝගයට ජනපතිවරයා චීන තානාපතිවරයා ස්තූතිය ප්‍රකාශ කර තිබෙනවා.
චීන නව අවුරුදු උදාව සමග වෛරසය අණාවරණය වූ බවත් එහි බරපතල තත්ත්වය දැන ගැනීමත් සමග රෝගය පැතිරයෑම වැළැක්වීමට චීන රජය පියවර ගත් බවත් චීන තානාපතිවරයා සඳහන් කළා.
වෛරසය පැතිරෙන ඕනෑම ස්ථානයක් පූර්ණ නිරෝධායන ක්‍රියාවලියට ලක්කර ඇතැයිද තානාපතිවරයා එහිදී ප්‍රකාශ කළ අතර චීන නව අවුරුද්ද සැමරීම සඳහා චීනයට ගිය ජනතාව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවත් ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා ඇති බවත් තානාපතිවරයා සඳහන් කළා.
උද්ගත වූ තත්ත්වය හේතුවෙන් චීනයේ හා අවට කලාපයේ සියලු ආර්ථික හා සමාජීය කටයුතු වලට බලපෑමක් එල්ල වී ඇති අතර සංචාරක හා ව්‍යාපාර අහිමිවීම ශ්‍රි ලංකාවටද බලපා තිබෙනවා.
නව වෛරසය පිළිබඳ පර්යෙෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර ඒ සඳහා ඉක්මනින් විසඳුම් සොයාගැනීමට හැකිවෙනු ඇතැයිද චීන තානාපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.