News Line| Off Air
Generic placeholder image

Feb
10

ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් නියෝගයක්

626 Views


ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් නියෝගයක්

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් එවන් ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ ලේකම්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙක් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

තවද එවැනි කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වන අතර මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබෙනවා.

අදාළ වයස් සීමාව මීට පෙර අවුරුදු 35ක් ලෙස නියම කර තිබුණා.

වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම් සලකා අයඳුම්කළ හැකි වයස් සීමාව ඉහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්.

රැකියා අපේක්ෂකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019/12/31 වන දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතුයි.

අයඳුම්කරු, අයඳුම්පත ඉදිරිපත් කරන ලබන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු අතර මේ වසරේ ජනවාරි මස 01 වන දිනට පෙර උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කල යුතු වෙනවා.

අයඳුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡයා පිටපතක් මේ මස 20 වන දිනට පෙර එවිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post