News Line| Off Air
Generic placeholder image

Feb
13

හදවත ගැන අවසන් තීරණය ගන්න සජිත් පාර්ශ්වයේ පිරිස හෙට එක්වෙයි

752 Views


හදවත ගැන අවසන් තීරණය ගන්න සජිත් පාර්ශ්වයේ පිරිස හෙට එක්වෙයි

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණින් හැර වෙනත් ලකුණකින් තරග නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානයක මහතා අද(13) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

මේ අතර ‘සමගි ජනබලවේගය’ නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය ‘සමගි ජනබලවේගය’ නමින් පක්ෂයක් පිහිටුවා ඇති අතර එම නව සන්ධානය ‘හදවත’ ලකුණින් මහ මැතිවරණයට තරග කිරීම සඳහා තීරණය කර තිබුණ ද ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතර සාමාජිකයින් එකඟ වී නොමැති බව සදහන්.

කෘත්‍යාධිකාරී මණ්ඩලය අලියා ලකුණින් තරග කිරීමට තීන්දු කිරීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළා.

එම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ඔවුන් එහිදී නව සන්ධානය සඳහා අලියා ලකුණ ඉල්ලා සිටිය ද ඊට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී නොමැති බව සදහන්.

ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරග කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර ඒ සඳහා පක්ෂයේ මහලේකම් ධූරය ජෝන් අමරතුංග හෝ දයා පැල්පොල වැනි ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදීමට හැකියාව ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වයේ පිරිස් විපක්ෂ නායක කාර්යාලයේදීත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයේ පිරිස් සිරිකොත මන්දිරයේදීත් මාධ්‍ය හමු පවත්වා කරුණු පැහැදිලි කළා.

එමෙන්ම ‘සමගි ජනබලවේගය’ නව සන්ධානයෙන් තරග කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් කැඳවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post