දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු අනියම් සේවකයින් ස්ථිර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා. ඒ, ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස අනුමැතිය හිමි වූ අතර මේ අතර රජයේ ආයතනවලට තාවකාලිකව, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියැදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ තොරතුරු ඉල්ලා අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක් ද පෙරේදා නිකුත් කෙරුණා. ඒ, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් ය.
එම චක්‍රලේඛනයට අනුව ස්ථිර කරනු ලබන කාර්යාල සහයක සේවකයන් හා රියැදුරන් දින 180 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර ඒ සඳහා වන නියමිත අධ්‍යාපන සුදුසුකම් ද සපුරා තිබිය යුතු අතර අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සේවකයින්ට ආයතන ප්‍රධානීන් විසින් තාවකාලික පත්වීම් ලිපි නිකුත් කරනු ඇති. ඉන්, මාස 3 ක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ලිපි ගොනු, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලෙස ද එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී තිබෙනවා.