ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර මගී බෝට්ටු සේවාවක් නුදුරේදීම ආරම්භ කරන බව ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසනවා.
ඉදිරි මාස තුන හතර කාලය තුළ එම සේවාව ආරම්භ කරන බව ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මන්සුක් මන්දාවියා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියාවේ කරෛයිකාල් සිට යාපනය දක්වා නාවික සැතපුම් 56ක් හෙවත් කිලෝමීටර් 104ක පමණ දුර ප්‍රමාණයක් තුළ බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සදහන්.
එක් ගමනාන්තයක් සඳහා පැය 03ක පමණ කාලයක් ගතවන අතර ඒ සඳහා ඉන්දීය රුපියල් 6,500 – 7,000ත් අතර මුදලක් අයකිරීමට නියමිතයි.
ශ්‍රි ලංකාවේ හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන්ට සහන සැලසීමට මෙමඟින් හැකිවන අතර සංචාරක කර්මාන්තය වර්ධනයට ද එය බලපාන බව ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.