කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් විපතට පත්ව සිටින චීනයේ ජනතාව වෙනුවෙන්, එරට ජනාධිපති ෂී ජින් පින්ගේ බිරිද විසින් කොළඹ දේවිබාලිකා විද්‍යාලයට විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.
කොරෝනා වෛරසයෙන් විපතට පත්ව සිටින චීනය තනි නොකරන බවට පවසමින් පසුගියදා විද්‍යාලයේ චිත්‍ර කලා සංගමයේ සිසු සිසුවියන් 50 දෙනෙකු චීනයට චිත්‍ර යොමුකර තිබුණා.
දෙරට අතර පවතින සුහදතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙලෙස චිත්‍ර යොමුකළ බව දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ සදහන් කළා.
ඒ අනුව, තම රට අසීරුවට ලක්ව සිටින අවස්ථාවේදී මෙලෙස දිරිමත් කිරිම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාගේ බිරිද අදාළ ලිපියෙන් ස්තූතිය පළ කර ඇති අතර, ඒ වෙනුවෙන් මෙරට චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් ද මේ වනවිට විද්‍යාලයට පැමිණ ඇති බව විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහල් ගතව සිටින ඩබ්ලිව්.ඒ.කුමුදුනී ගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වනවා.
තමන්ට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් සිදුකරන බවත්, රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුවකර ගැනීම සදහා මෙරටට පැමිණ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටින බවත් ඇය පවසනවා.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය වැළදීමෙන් මේ වනවිට පුද්ගලයින් 3198 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 93,158 දෙනෙකුට වෛරසය වැළදී ඇති බව නවතම වාර්තා සදහන් කළා.
ඉතාලියේ පුද්ගලයින් 79 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර දකුණු කොරියාවෙන් කොරෝනා මරණ 28 ක් වාර්තා වනවා.
මීට අමතරව, ඉරානයෙන් මරණ 77 ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
එමෙන්ම, මෙම වෛරසය ආසාදනය වීමෙන් ඇමරිකාවේ මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට තුල වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 122 ක්.
මෙවන් පසුබිමක නව කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ලවී ඇති රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 12 ක ආධාර ලබාදීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
මෙම ආධාරවලින් වැඩි ප්‍රමාණයක් දියුණු වෙමින් පවතින රටවලට ලබාදීමට සැලසුම් කර ඇති අතර කොරෝනා වෛරසය පාලනය සදහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට සහ ඖෂධ සඳහා මෙම මුදල් ලබාදෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.