විදේශිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලැබූ on arrival වීසා පහසුකම කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර විදෙස් සංචාරවල යෙදීමෙන් හැකිතාවක් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා.
මේ වන විට එවැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් කිහිප දෙනෙකු ද එම මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.
රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු පුද්ගලයෙකුට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
තමන්ගේ මෙන්ම තම සමීපතමයන්ගේ සහ රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා ඊට අනුගතවී කටයුතු කරන ලෙස රජය අදාළ පාර්ශව වලින් ඉල්ලා සිටිනවා.
මේ වන විට ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ දහනව දහස ඉක්මවා ඇති බවත් සමස්ත මරණ ගණන 4300 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වනවා.