කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා දින 21 ක අගුලු දැමීමකට (Lockdown) ලක්ව සිටින ඉන්දියාවේ දැඩි දුෂ්කරතාවයකින් රෝහල්ගත වී නිවුන් දරුවන් බිහි කළ මවක් සිය සැමියාද සමග එක්ව උපත ලැබූ දරුවන් දෙදෙනාට කොරෝනා සහ කොවිඩ් යන නම් යෙදූ පුවතක් ඉන්දියාවේ රයිපූර් ප‍්‍රදේශයෙන් වාර්තා වුණා.
මේ අනුව ඉකුත් 27 වනදා රයිපූර් ප‍්‍රදේශයේ බී ආර් අම්බෙඩ්කාර් අනුස්මරණ රජයේ රෝහලේ උපත ලබා ඇති නිවුන් ගැහැණු දරුවා “කොරෝනා” යනුවෙන්ද නිවුන් පිරිමි දරුවා “කොවිඩ්” යනුවෙන්ද නම් කළ බව එම දරුවන්ගේ මව වන 27 හැවිරිදි පී‍්‍රති වර්මා පවසනවා.
කොරෝනා වෛරසය පැතිරෙන වකවානුවක දුෂ්කරතා මැද මෙම නිවුන් දරුවන් දෙදෙනා බිහි කිරීම නිසාත් එම දරුවන් උපත ලැබූ පසු රෝහලේ කාර්ය මණ්ඩලයද ඔවුන්ට කොරෝනා සහ කොවිඩ් යනුවෙන් ආමන්ත‍්‍රණය කිරීමට පටන්ගත් නිසාත් තමා හා සැමියා මෙම දරුවන්ට මෙලෙස නම් තැබූ බව ඇය පැවසුවා.
මොවුන් උත්තර් ප‍්‍රදේශයේ පුරානි බස්ති ප‍්‍රදේශයේ කුලී නිවසක වාසය කරන බව සදහන්.