කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට හුදකලා කර තිබෙනවා.
අද(23) දිනයේ දී නාවික හමුදාවේ සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් තහවුරු කර සිටි අතර එම හේතුව නිසාවෙන් වැලිසර නාවික හමුදා කඳවුර මෙලෙස හුදකලා කරනු ලැබුවා.
ඒ අනුව මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින සියලු නාවිකයින් නිරෝධායනයට ලක් කර තිබෙනවා.
එමෙන්ම නිවාඩු ගොස් සිටින සෙබළුන් සියලු දෙනා ද වහාම ගෙන්වා ගෙන PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික සෙබළෙක් නිවාඩු ගොස් සිටිය දී හදිසි රෝගී තත්ත්වයක් මත වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ(22) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් බවට තහවුරු වී තිබුණා.
ඒ අනුව එම සෙබළා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ භට නිවාසය වහාම නිරෝධායනයට ලක් කර තිබෙනවා.
පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා සිටි භට නිවාසයේ සියලු නාවික සෙබළුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු බවද යුද හමුදාපතිවරයා පැවසුවා.
ඒ අනුව පළමු කොරෝනා ආසාදිත නාවික සෙබළා ඇතුළු නාවික හමුදා සෙබළුන් 30 කට මේ වන විට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
එම භට නිවාසයේ සිටි අනෙකුත් නාවික සෙබළුන් හා පළමු ආසාදිත නැවියා සේවය කළ අනෙකුත් කාර්යාලවල සිටි නාවිකයින් සියලු දෙනා මෙලෙස PCR පරීක්ෂණයට යොමු කර ඇති බවද හමුදාපතිවරයා සදහන් කළා.
පළමු ආසාදිත නාවික සෙබළා සිටි නාවික භට නිවාසයේ සෙබළෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවත්, එම භටයා ඇතුළු අනෙකුත් නිලධාරීන් පසුගිය දිනවල දී සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීමේ දී මෙම නාවිකයින්ට වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියා.