පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නිකුත් කළ නියෝගය යළි කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය පුමුඛ පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පවතින අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයාට වගකිව යුතු සහයෝගයක් ලබාදීමට සිය පක්ෂ සූදානම් බව මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් යොමු කරමින් ඔවුන් පවසනවා.
විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් කරුණු 10 කින් සමන්විතව ඒකාබද්ධ ප්‍රකාශයක් අද මාධ්‍ය වෙත නිකුත් කළා.
ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමඟි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුර්දීන්, ආර් සම්බන්ධන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන්ගේ අත්සනින්.
රට තුළ පවතින අර්බුදය විසඳීම සඳහා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වශයෙන් වගකීමක් පවතින බවත් ඒ සඳහා වගකිව යුතු සහයෝගීතාවයක් ජනාධිපතිවරයාට ලබාදීමට සූදානම් බවත් ඔවුන් එම ප්‍රකාශයෙන් පවසනවා.
එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2020 මාර්තු දෙවැනි දින නිකුත් කළ නියෝගය ආපසු කැඳවන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
එසේ කිරීම කොරෝනා අභියෝගය ජය ගැනීමට සහයෝගයෙන් සහ එක්ව වැඩ කිරීමටත්, එසේ සිදුකරන දේ නීත්‍යනුකූලව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව සිදුකිරීමටත් ඉඩ ප්‍රස්ථාව ලබාදෙනු ඇති බව සිය විශ්වාසය බවද එහි දැක්වෙනවා.
ඉන් පසුව මහ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු අවස්ථාව පැමිණ ඇතැයි හැඟෙන අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇති බව එහි වැඩිදුරටත් සදහන්.