අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇති බව වෛද්‍යවරු පැවසුවා.
ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළා.
වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇති අතර
ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණයි.
ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත.
ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දී තිබෙනවා.
ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසුවා.
දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.
වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පෙන්වා දුන්නා.
දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද එම සාකච්ඡාවේදී සඳහන්.
ආයතන පවත්වාගෙන යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතු අතර සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටින බවද ජනාධිපතිවරයා පැවසුවා.
ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී දීර්ඝ ලෙස පෙන්වා දුන්නා.
මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා.
ඉන් වෛරසය ආසාධිත බවටතහවුරු කරගෙන ඇත්තේ 3%ක පිරිසකගේයි.
මෙය රජය ගෙන ගිය නිරෝධායන වැඩපිළිවෙළේ සාර්ථක පැතිකඩක් බව වෛද්‍යවරු පැවසූවා.
තවදුරටත් පර්යේෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල රටතුල නිෂ්පාදනය කිරීම අරඹා තිබෙනවා.
එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයක් වන අතර එම නිෂ්පාදන ප්‍රවර්ධනයට බලපාන අඩුපාඩු දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා පැවසුවා.
වෙළෙඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහිද අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිනවා.
නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතියද විමර්ශනය කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.
සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි,ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක ලේකම්කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් භද්‍රාණී ජයවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධහමුදාපතිවරු, වැඩබලන පොලිස්පතිතුමා සහ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කොරෝනා මර්දන කාර්යසාධන බලකායේ සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියා.