News Line| Off Air
Generic placeholder image

May
1

ඕසෝන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහළින් පැවැති විශාලතම සිදුර සම්පුර්ණයෙන්ම වැසෙයි

2799 Views


ඕසෝන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහළින් පැවැති විශාලතම සිදුර  සම්පුර්ණයෙන්ම වැසෙයි

ඕසෝන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහළින් පැවැති විශාලතම සිදුර මේ වන විට සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි විද්‍යාඥයන් අනාවරණ කරයි. කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනයට රටවල් ගත් ආරක්ෂිත පියවර සමඟ ඇති වූ පාරිසරික තත්ත්වය මීට හේතු වූ බවට ප්‍රචාර පැතිරගියත් එය තවමත් සනාථ කළ නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඕසෝන් ස්ථරය යනු සමස්ත පෘථිවියම සූර්යාගේ පාරජම්බුල කිරණින් ආරක්ෂා කර දෙන වායු ස්ථරයක්.

පෘථිවි තලයේ සිට කිලෝමිටර් 23 ත් 30 ත් දක්වා උසකට එය පැතිර පවතියි.

ඕසෝන් ස්ථරය නොමැතිනම් සූර්යාගේ පාරජම්බුල කිරණ සෘජුවම පෘථිවිය වෙත එල්ලවීමෙන් සමේ පිළිකා ඇතිවීම,සම පිළිස්සීම,ඇසේ සුද ඇතිවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හානි සිදුවීම සහ ජාන විකෘති වීම් වැනි බරපතළ සංකූලතා ඇති විය හැකියි.

ගෝලීය උණුසුම ඉහළයාම, දේශගුණික විපර්යාස ද ඒ අතර වේ.

කාර්මිකරණය හා සම්බන්ධ මිනිස් ක්‍රියාකාරකම් නිසා කාලයක් තිස්සේ ඔසෝන් ස්ථරයේ සමතුලිතතාවට දැඩි හානි සිදුවෙමින් පැවතුණි.

ඒ ක්ලෝරො ෆ්ලෝරො කාබන් හෙවත් CFC, මෙතිල් බ්‍රෝමයිඩ්, වැනි අහිතකර වායු අණු හේතුවෙන්.

1987 මොන්ට්‍රියල් සම්මුතිය නිර්මාණය වන්නේද ඕසෝන් ස්ථරය ආරක්ෂා කරගැනීමටයි.

කෙසේ වෙතත් ඕසෝන් වියනට හානිකරමින් උත්තරධ්‍රැවය ආශ්‍රිතව මෙතෙක් නිර්මාණය වූ විශාලතම සිදුර විද්‍යාඥයන් විසින් පසුගියදා සොයාගනු ලැබුවේය.

එහි විශාලත්වය සඳහන් වූයේ වර්ග සැතපුම් 620,000 ක් ලෙසයි.

මිනිස් ක්‍රියාකාරකම් හරහා වායුගෝලයට නිදහස් වන අහිතකර වායු සංඝටක, පෝලර් වෝටෙක්ස් ලෙස හැඳින්වෙන ධ්‍රැව ආශ්‍රිත වා සුළි ධාරා නිර්මාණය වීමේ සංසිද්ධිය හරහා උත්තරධ්‍රැවයට සංක්‍රමණය වීම මෙම සිදුර නිර්මාණයට හේතුවක් බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඔවුන් සිදුකළ නවතම අනාවරණය නම් ඕසෝන් වියන මත නිර්මාණය වී තිබූ මෙම සිදුර මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති බවයි.

එය පෘථිවිය මත වෙසෙන සියලු ජීවීන්ට සුබදායී පුවතක් ලෙස ද අන්තර්ජාතික මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණි.

සමස්ත පෘථිවියේ පැවැත්ම තීරණය කරන ඕසෝන් වියනේ ආරක්ෂාව මිහිතලය මත ජීවී වර්ගයාගේ පැවැත්ම තීරණය කරන බැවින් එය රැකගැනීමට මිනිසා සතු වගකීම කිසි ලෙසකින් හෝ පැහැර හැරිය නොහැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post