කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා පවසනවා.
පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.
ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙසද දැනුම් දී තිබෙනවා.
පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කළා. කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපයීමේ දී ඒ ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව එතුමා පෙන්වා දුන්නා.
ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදු විය යුතු අතර ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළහැකියි. සේවයට වාර්තා කිරිමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුයි.
නිවසේ සිට වැඩ කිරීමේ දී ඇතැම් ආයතන පුළුල් පරාසයක සේවා සපයා ඇත. එය ඉදිරියට ගෙන යමින් ඊ-මේල් සහ කෙටි පණිවිඩ භාවිතයෙන් තොරතුරු ලබා ගැනීමටත් ඒවාට පිළිතුරු ලබාදීමටත් ඊට නෛතික භාවයක් දෙන ලෙසත් ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.
හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරුණ අතර එහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතු බව සදහන්.
විදුලි, ජල, වාරිමාර්ග, කෘෂිකර්ම, වැව් අමුණු පිළිසකර කිරීම්, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි සංවර්ධන වැඩ සෙසු දිස්ත්‍රික්කවල දැනටමත් පටන් ගෙන ඇති බවත් මැයි 11 දා සිට ජන ජිවිතය යථා තත්ත්වයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල ද සංවර්ධන මෙහෙයුම් ඇරඹිය හැකි බවත් සදහන්. එහිදී වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඝෘජු අධීක්ෂණයට ලක් කිරීමට ද තීරණය වුණා.
මී උණ සහ ඩෙංගු වැනි රෝග ඉදිරියේ දී පැන නැගිය හැකි බැවින් සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.