මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට අදාළව පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන විෂබීජහරණය මෙන්ම ඒවා සේවා සඳහා සූදානම් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා.
ඒ අනුව අද(09) දිනයේ දී කොටුව දුම්රිය ස්ථානය පවිත්‍ර කිරීම හා විෂබීජහරණය සිදුකෙරුණා.
කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන ජනතාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා වන විශේෂ කැමරා පද්ධතියක් අද ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව කැමරාව මගින් ග්‍රහණය කරගන්නා පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 ක සාමාන්‍ය අගයක පවතියි නම් කොළ පැහැයෙන්ද ඊට වැඩි නම් රතු පැහැයෙන්ද දර්ශනය වන බව සදහන්.
ඒ අනුව අදාළ පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත යොමු කළ හැකියි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා පරිශ්‍රයද අද විෂබීජහරණය කෙරුණු අතර කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙත විෂබීජ නාශක දියර ලබාදීමද මෙහිදී සිදුකෙරුණා.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සක්‍රීය කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන් වෙත දිස්ත්‍රික් ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙන අතර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයද අද සිදුකෙරුණා.
අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන්ද අද විශේෂ සාකච්ඡා පැවැත්වුණේ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර දිවයින පුරා සියලු සුරාසැල් තවදුරටත් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.