News Line| Off Air
Generic placeholder image

May
18

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය ඉවතට

845 Views


කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය ඉවතට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (18) අලුයම 5ට ලිහිල් කෙරිණි.කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට අද සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳදහන් කළේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛණ්ඩව පැවතිය ද ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 වැනිදා සිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබුණි.

මීට පෙර උපදෙස් ලබාදුන් පරිදි හෙට සිට එම වැඩපිළිවෙල යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජාතික හැඳුනුම්පතේ අංකයට අදාළව පුද්ගලයන්ට අත්‍යාවශ්‍ය සේවා සඳහා පා ගමනින් ගමන් කළ හැකි ආසන්නම ප්‍රදේශය පිහිටි වෙළෙඳසැල්, ඖෂධ සැල් වෙත ගමන් කළ හැකියි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවයට වාර්තා කරන පුද්ගලයන්ට අදාළ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු ප්‍රවාහන පහසුකම් ලබාදිමට බස් රථ සහ දුම්රිය යොදවා තිබේ.

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට ත්‍රිරෝද රථ මඟින් ප්‍රවාහන පහසුකම් සැලසීමට අවසර ලබා දී ඇති බව රජය ප්‍රකාශ කළේය.

මේ අතර අද දුම්රිය ගමන් වාර 19ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ති‍බේ.

දුම්රියේ ආසන කලින් වෙන්කර නොගත් පිරිස් සඳහා කොන්දේසී සහිතව දුම්රිය ස්ථානාධිපතිවරුන් හරහා ගමනාගමන පහසුකම් සලසාදීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ සඳහා ආයතනික හැඳුනුම්පත හා කැඳවීමේ සහතිකයක් ඉදිරිපත් කළ යුතු අතර ප්‍රමාණවත් පරිදි ආසන පවතින්නේ නම් පමණක් මගීන්ට එම අවස්ථාව උදාවෙයි.


News Articles
Latest Videos
Most Popular Post