News Line| Off Air
Generic placeholder image

May
28

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද අටවන දිනටත්

562 Views


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අද අටවන දිනටත්

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ සලකා බැලීම අද(28) අටවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ(27) දිනයේ සලකා බැලූ අදාල පෙත්සම් වෙනුවෙන් නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සිය කරුණු ඉදිරිපත් කිරීම් අවසන් කළ අතර පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ මහාචාර්ය පණ්ඩුල ඇදගම මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් පසුගිය මාර්තු මස 02 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල බවයි.

ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට මාස 3 ක් ඇතුළත මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට නීතිමය ප්‍රතිපාදනයක් සලසා නොමැති බව අවධාරණය කර තිබේ.

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස පෙත්සම්කරුවන් අයැද සිටියද එවැනි පියවරක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් කිසිදු අවසරයක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වාදී ඇත.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසුවේ මහ මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ස්වාධීනව තීන්දුවක් ගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා ප්‍රකාශ කර තිබූ බවයි.

එසේ තිබියදී මහ මැතිවරණය සඳහා දින නියම කිරීමට හා මනාප අංක නිකුත් කිරීමේ කාර්යය සඳහා මැතිවරණ කොමිසම තවදුරටත් කාලය අයැද සිටීම විමතිය දනවන කරුණක් බව පෙන්වාදුන් මනෝහර ද සිල්වා මහතා මැතිවරණ කොමිසම හා පෙත්සම්කරුවන් එක්ව මැතිවරණය කල් දැමීමට කටයුතු කර ඇත්ද යන ගැටලුව මතුවන බවට චෝදනා කර සිටියේය.

අනතුරුව අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිය පෙත්සම්වලින් ඉදිරිපත් කරන කරුණුවල පරස්පර තත්ත්වයක් දක්නට ඇති බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අහෝසි කිරීමේ සහ පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ගැසට් නිවේදනය අහෝසි කරනු ලැබුවොත් පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ කෙසේ ද යන්න ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලබන පාර්ලිමේන්තුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සුවිශේෂී අවස්ථාවන්හිදී හැර යළි කැඳවීමට හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post