News Line| Off Air
Generic placeholder image

Jun
24

විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි 31 ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි

621 Views


විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි 31  ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වන ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සෑදීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම අද (24) කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ බව ප්‍රකාශ කළේය.

මෙම නඩුවට අදාළව, 2018 වසරේ අගෝස්තු මස 28 වන දා තමන් විසින් ගොනුකරන ලැබූ ලිඛිත දේශනය තවදුරටත් අදාළ කරගන්නා ලෙස එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව මෙම පෙත්සමට අදාළ තීන්දුව ජුලි මස 31 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388 හෙළිකොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදු වී තිබෙන බව පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළිකිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම නඩුවේ විභාගය අවසන්කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කරණ ලදී.


News Articles
Latest Videos
Most Popular Post