කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම හුදෙකලාකර ඇති ප්‍රදේශවලට කිසිවෙකුටත් ඇතුළු වීමට හෝ ඉන් පිටව යාමට ඉඩ නොතැබීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අද පැවසුවා.
ඒ, ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව රැස්වන කොවිඩ් කාර්ය සාධක බලකාය අමතමින්.
බෝනොවන රෝගවලින් පෙළෙන්නන් කොරෝනා ආසාදනයෙන් බේරාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බවට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.
සෙසු රටවලින් මෙන්ම මෙරටින් ද වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාවෙන් සියයට 93කට හේතුව බෝනොවන රෝග වැළඳුණු පුද්ගලයින්ට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරු පෙන්වා දෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.
මේ අතර හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීන් ඉතා වේගයෙන් වෛරස් ආසාදනයට ලක්වීම, බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත් වීම සහ පසුව කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන් අසාදිතයන් බවට තහවුරු වීම යන කරුණු ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.
එම කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමුකර බෝනොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කරගැනීමට සහ කොරෝනා ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස් දීම සහ දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
එමෙන්ම මෙහිදී කොරෝනා ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මෙන්ම අධ්‍යයනය කළයුතු ක්ෂේත්‍ර පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාකර තිබෙනවා.
ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
ඊට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
හුදෙකලාකර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදාහැරීම සඳහා සම්බන්ධ වන පාර්ශ්ව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිත වෛරස් තත්ත්වය සහ එය ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ද මෙහිදී විමසුමට ලක්වුණා.



















