අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ළූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ළූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නංවා තිබෙනවා.
ලොකු ළූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසනවා.
ලොකු ළූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ මිලක් හිමි නොවූ අතර, ඒ හේතුවෙන් ඔවුන් ලොකු ළූණු වගා කටයුතුවලින් බැහැරවීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබුණු බව එම අමාත්‍යංශය සඳහන් කළා.
එබැවින් ලොකු ළූණු අස්වැන්න පහත වැටුණු අතර විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ලොකු ළූණු ආනයනය වෙනුවෙන් වැය වූ බව සදහන්.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ලොකු ළූණු සඳහා වන රජයේ සහතික මිල ඉහළ නැංවීම සහ ගොවීන් දිරිමත් කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
එමෙන්ම දැනට පවතින ලොකු ළූණු වගාවන්හි ඵලදායිතාව ඉහළ නැංවීම මගින් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ද නව වැඩපිළවෙළක් ආරම්භ කිරීමට නියමිතයි.
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන යන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිත අතර එහි ප්‍රගතිය පිළිබඳ මාස හයකට වරක් අමාත්‍ය මණ්ඩලයේ දී සලකා බැලෙනු ඇති.
තවද පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස ලොකු ළූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 190/=ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබෙනවා.