රජයේ සම පුද්ගලික ඉඩම්වල සිදුකෙරෙන කළුගල් කැණීම් කර්මාන්තය සඳහා බදු දීමේ හා අය කර ගැනීමේ විධිමත් හා පහසු ක‍්‍රමවේදයක් ඇති කරන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිළදාරීන්ට උපදෙස් දී තිබෙනවා.
අග‍්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරතවන්නන්ගේ ගැටලූ සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදීයි.
නව ක‍්‍රමවේදය සකස් කිරීම සදහා ඉඩම් කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව සඳහා ඉඩම් කොමසාරිස් කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුවද ඇතුලත්.
ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියොජනය කරමින් නියෝජිතයින් කමිටුවට පත් කර තිබෙනවා.
අදාළ කමිටුවේ නිර්දේශ සති දෙකක් ඇතුළත භාරදීමට නියමිතයි.
පරිසරය සුරැකෙන ආකාරයෙන් කළුගල් කැණීමේ කර්මාන්තයේ නිරත විය යුතු බවද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.
කළුගල් කර්මාන්තය මත පැනවෙන බදු මුදල් සමාලෝචනයකට ලක්කළ යුතු බවත්, කළුගල් මිල ඉහළ යාම ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා සෘජුවම බලපාන බවයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සදහන් කළේ.