News Line| Off Air
Generic placeholder image

Mar
10

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්ට යළි වරෙන්තු

597 Views


දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම්ට යළි වරෙන්තු

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද දෙවන වරටත් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඇය අත්අඩංගුවට ගන්නා ලෙස පළමුවරට වරෙන්තු නිකුත් කෙරුණේ මාර්තු 06 වනදායි.

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුලු 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊට අදාළ ලිපි ගොණු පිළිබඳ කරුණු දැක්වීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොමිසමේ ලේකම්වරියට නොතීසි නිකුත් කර තිබුණා.

එහෙත් එදින ඇය අධිකරණය හමුවට පැමිණ නොසිටි අතර අධිකරණයට නොපැමිණෙන බවට පූර්ව දැනුවත් කිරීමක් හෝ සිදුකර නොමැති බැවින් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙස සළකා ඇය අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කෙරුණා.

වරෙන්තු නිකුත් කර අදට දින 04 ක් ගතවුවද ඇය අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

දෙවන වරෙන්තු නියෝගය නිකුත් කරමින් අධිකරණය දන්වා සිටියේ සැකකාරිය කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

අනිද්දා දිනයට පෙර ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට ඊට අදාලව කරුණු දක්වන ලෙස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post