හදිසි සහ අත්‍යවශ්‍ය යැයි විනිසුරුවරයා විසින් තීරණය කරනු ලබන නඩු හැර වෙනත් කිසිදු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවන ලෙසට චක්‍රලේඛයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් හෙට සිට ලබන 27 වනදා දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කර ගනිමින් මෙම චක්‍ර ලේඛය නිකුත් කළ බව සදහන්.
වාණිජ මහාධිකරණ, මහාධිකරණ, සිවිල් අභියාචනාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු සඳහා මෙය අදාළ වනු ඇති.
යොදාගත් සියලු නඩු වෙනත් දිනවල කැඳවන අතර ඇප ලබාගැනීම් සඳහා වන ඇප ඉල්ලීම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති.
නීතිඥවරයෙක් ඉතා හදිසි අවශ්‍යතාවක් හේතුවෙන් නඩුවක් කැඳවීමට ඉල්ලීමක් කරන්නේ නම් පෙරවරු 10ට පෙර මෝසමකින් කරන ඉල්ලීම් පමණක් සලකා බැලෙන බව අධිකරණ සේවා කොමිසම දැනුම් දී තිබෙනවා.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම ඔවුන් අධිකරණය වෙත කැඳවීමකින් තොරව වීඩියෝ තාක්ෂණයෙන් සිදු කරන ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.
පොලිස් ඇප ලබාදීම් සම්බන්ධයෙන් ඇති ප්‍රතිපාදන හැකිතාක් ක්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරුන් අදාළ පොලිස් බල ප්‍රදේශවල පොලිසිය සමග නිසි සම්බන්ධීකරණයක් පවත්වාගත යුතු වනවා.
ජනතාව ඒකරාශීවීම් හැකිතාක් අඩු කරමින් කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම ඉලක්ක කරමිනුයි අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.