News Line| Off Air
Generic placeholder image

Mar
20

අද සිට අධිකරණ කටයුතු විඩියෝ තාක්ෂණයෙන්

634 Views


අද සිට අධිකරණ කටයුතු විඩියෝ තාක්ෂණයෙන්

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අද(20) දිනයේ සිට මාර්තු 27 වන දින දක්වා පැවැත්වෙන නඩු කටයුතු සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරිමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා..

වාණිජ මහාධිකරණය, සිවිල් අභියාචනාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා කම්කරු විනිශ්චය සභාවල පැවැත්වෙන නඩු කටයුතු සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිසිදු නඩු කටයුත්තක් විවෘත අධිකරණයේ නොකැඳවන අතර සියලු නඩු වෙනත් අධිකරණවල කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු වෙයි.

එහෙත් ඇප ලබා ගැනිම සඳහා වන ඇප ඉල්ලුම් සාමාන්‍ය පරිදි කැඳවන අතර හදිසි හා අත්‍යාවශ්‍ය යැයි විනිසුරුවරයා විසින් තීරණය කරනු ලබන නඩු කැඳවීමේ හැකියාව ද පවතින බව අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දෙන අතර යම් නීතිඥවරයෙකු හදිසි අවස්ථාවක් මත නඩු කැඳවීමට ඉල්ලා සිටින්නේ නම් පෙරවරු 10.00ට පෙර මෝසමක් මඟින් එම ඉල්ලීම සිදු කළ විට එම කැඳවිම සලකා බැලිය හැකි වෙයි.

රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැදවියන්ගේ රක්ෂිත කාලය දිර්ඝ කිරිම සඳහා ඔවුන් අධිකරණයට නොකැඳවා ඒකී කාර්යය විඩියෝ තාක්ෂණය ඔස්සේ කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව ද අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

මහේස්ත්‍රාත්වරු අදාල පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය සමඟ සම්බන්ධිකරණය වී පොලිස් ඇප ලබාදීම සම්බන්ධයෙන් ඇති ප්‍රතිපාදන හැකිතාක් ක්‍රියාත්මක කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේ සිට ලබන 27 වන දින දක්වා නිවසේ සිටි වැඩ කරන සතික් ලෙස රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය සඳහාම ප්‍රකාශයට පත් කර තිබේ.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් සහ සාමාන්‍යාධිකාරිවරුන් වෙත ඒ පිළිබඳ චක්‍රලේඛයක් මඟින් දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසලකන බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post