අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බලකායේ විශේෂ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) දින සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද සහභාගීත්වයෙන් පැවැත්විය.
එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණ ගෙන තිබේ.
ඒ අනුව එළැඹෙන බ්‍රහස්පතින්දා උදෑසන 9 සිට සවස 5 දක්වා දිවයින පුරා සියලු ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබිය යුතු බවට එහිදී තීරණය වී තිබේ.
එදිනට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 19 පමණක් නොව අවදානම් කලාප ලෙස නම් කර තිබෙන දිස්ත්‍රික් ද ඇතුළුව මුළු දිවයිනේම ඖෂධ සැල් විවෘතව තැබෙනු ඇත.
සියලුම ආයුර්වේද රෝහල් ඇඳිරි නීති කාලය තුළ විවෘතව තැබීමට ද එහි දී තීරණය කෙරුණි.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ලියාපදිංචි වී ඇති එක් බෙහෙත් ශාලාවකට හෝ ඇඳිරි නීතිය කාලය තුළ එම සේවා ජංගමව පවත්වාගෙන යාමටත් අවසර ලබාදී තිබේ.
විශාල පාරිභෝගික ඉල්ලුමක් ඇති කොත්තමල්ලි, ඉඟුරු සහ වෙනිවැල්ගැට ආනයනයට ද පියවර ගෙන ඇති අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ නිවාස වෙත තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඖෂධ බෙදා හැරීමත් එම තීරණ අතර වෙයි.