News Line| Off Air
Generic placeholder image

Apr
20

අද සිට දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය ලිහිල් කරයි

680 Views


අද සිට දිස්ත්‍රික්ක 18ක ඇඳිරි නීතිය ලිහිල් කරයි

ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද(20) සිට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක 18තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද පෙරවරු 05.00ට ඉවත් කොට රාත්‍රී 08.00ට යළි පැනවිමට නියමිතයි.

ඉන් අනතුරුව එම දිස්ත්‍රික්කවලට යළි දැනුම් දෙන තුරු සෑම දිනකම රාත්‍රී 08.00 සිට පසු දින අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 25ක් හැරුණු විට එම දිස්ත්‍රික්ක වල සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නිතීයද ලිහිල් කිරිමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොටහේන, ග්‍රෑඩ්න්පාස්, බම්බලපිටිය, කෙසෙල්වත්ත, මරදාන, ගොතටුව, මුල්ලේරිය, වැල්ලම්පිටිය, ගල්කිස්ස, දෙහිවල සහ කොහුවල යන පොලිස් බල ප්‍රදේශවලටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජඇල, කොච්චිකඩේ සහ සීදුව යන පොලිස් බල ප්‍රදේශ වලටත් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මාරවිල සහ වෙන්නපුව යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, පයාගල, බේරුවල සහ අළුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට ද ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම පොලිස් බල ප්‍රදේශ හැරුණු විට කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ලබන 22 වන බදාදා දිනයේ සිට සෑම දිනකම උදෑසන 05.00ට ඉවත් කර රාත්‍රි 08.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවලට අයත් අලවතුගොඩ, අකුරණ, වරකාපොල සහ අක්කරෙයිපත්තුව යන පොලිස් බල ප්‍රදේශවලට ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර එම දිස්ත්‍රික්ක තුනට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අද සිට සෑම දිනකම උදෑසන 05.00ට ඉවත් කර රාත්‍රී 08.00ට යලි පැනවෙන බව ජනාධීපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳිහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට අවස්ථාව පවතින අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුලු අත්‍යවශ්‍ය සේවා පමණක් සීමාකර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post