කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය විය හැකි බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ මහාචාර්යවරියක් පවසනවා.
නිසි මූල්‍ය ප්‍රතිපාදන ලැබුනහොත්, මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට එන්නතක් නිපදවීමේ හැකියාව පවතින බව ඇය වැඩිදුරටත් පැවසුවා.
නව කොරෝනා වෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) සදහන් කළා.
රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මඟන් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළා.
කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම වෙනුවෙන් පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය මේ බව කියා සිටියේ බීබීසී රූපවාහිනියේ වැඩසටහනක් සමඟ අදහස් දක්වමින්.
කෝවිඩ් 19 රෝගය එක් වරක් වැළඳීම මගින් රෝගයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බවට තවමත් පැහැදිලි සාක්ෂි නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥවරියක් ද පවසා තිබුණා.
නව කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම සඳහා ලොව පුරා රටවල් ගණනාවක විශේෂඥයින් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.