News Line| Off Air
Generic placeholder image

Apr
25

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

862 Views


ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතිනවා.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.ඉන් පසු මැයි 01 වන සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණයි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ඇති.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ලබා දී තිබෙනවා.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර ඇති අතර රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානින් මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතුද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතුයි.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණයි. යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුවද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානින් වගබලා ගත යුතුයි.

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කර තිබෙනවා. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළයුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන.

යම් දවසක, කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3ක පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල රැස්වීම නතර කළයුතුව තිබෙනවා.

ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කෙරේ. අත්‍යාවශය සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා නිවෙස්වල රැඳී සිටිය යුතුයි.

කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණයි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතුයි.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. පාසල්, විශ්ව විද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුයි.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රීක්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ තිබෙනවා.කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම්.

සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර තිබෙනවා. ජනයා ඒකරාශීවීම වෛරස ව්යාදප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සවද අත්හිටුවන ලෙස ඉල්ලා තිබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබෙනවා.

තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරනවා. සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post