News Line| Off Air
Generic placeholder image

Apr
26

ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පොදු ප‍්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

911 Views


ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පොදු ප‍්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

ඇතැම් පුද්ගලයින් විසින් අත්‍යාවශ්‍ය නොවන කාරණාවන් සඳහා ගමන් කිරීමට බස් රථ නොමැති බව කියමින් මාධ්‍ය ඔස්සේ රජයට හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට දොස් තැබීම සාධාරණ නැති බව ප්‍රවාහන සේවා කළමණාකරන අමාත්‍යාංශය පවසනවා.

මෙම තීරණාත්මක අවස්ථාවේ පොදු ප්‍රවාහන සේවාවන් සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල ද පැමිණෙන්නේ විවිධ ගැටළුකාරි තත්ත්වයන් මධ්‍යයේ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ.

ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සැලසීමට තරම් අවශ්‍ය බස් රථ යෙදවීමේ හැකියාවක් ලංගමයට දැනට නැති බවත් තිබෙන බස් රථ ප්‍රමාණය සමාජ දුරස්ථභාවය රැක ගනිමින් මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බැවින් යම් යම් සීමාවන් ඔස්සේ ප්‍රවාහන සේවා කටයුතු සැලසීමට මෙම අමාත්‍යාංශයට සිදුව තිබෙන බවත් වාහන සේවා කළමණාකරන අමාත්‍යාංශය සඳහන් කළා.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට ආරක්ෂක අංශවල සහාය ද ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මේ වන විට ඉල්ලා තිබෙනවා.

ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවන් හිදි පොදු ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යෙදවීමට ද ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඊයේ දිනයේ (25) රජය විසින් ගන්නා ලද තීරණය අනුව පුද්ගලික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව ගමන් කිරීමට දින ලබා දී ඇති බැවින් මෙම තත්ත්වය පහසු වේ.

එබැවින් ලංගම සතුව පවතින බස් රථ පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යොදවනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවාවන් එනම්, සෞඛ්‍ය, ආරක්ෂක, හා රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල සේවය සඳහා ප්‍රවාහනය කළ යුතුම පිරිසට පමණක් වනු ඇති.

එසේ නොමැතිව සාමාන්‍ය ජනතාව අත්‍යවශ්‍යම නොවන කාරණාවන් සඳහා පොදු ප්‍රවාහන සේවා තුළින් ප්‍රවාහන පහසුකම් ලබා දීම සිදු නොකරන අතර එසේ කරන්නේ කෝවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා රජය විසින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීම සඳහා බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post