ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේත් ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට දින (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධව අද දින (12) විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල සියලු අංශ සමඟ සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන් ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීමේදී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එම තීරණය හෙට දින (13) ක්‍රියාත්මක කිරීමට තාක්ෂණික ගැටලු ඇත්දැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ගෙන් විමසා සිටියා.
තමන්ට එවැනි ගැටළුවක් නොමැති බවත්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ද හෙට සිට ආරම්භ කළ හැකි බවත් ඔවුන් පැවසුවා.
ඒ අනුව මෙම තීරණය හෙට දින සිටම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහණය සඳහා අවසර ලබා දෙන අතර එහිදී ද ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා සඳහා අදාල වැඩබිම්වලට සේවය වාර්තා කරන පිරිස් සඳහා පමණැයි.
සාමාන්‍ය මගී ජනතාවට ප්‍රවාහණ සේවා සඳහා දුම්රිය යොදා ගැනීමේ දී අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් සීමා කරන අතර, අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයට ටිකට්පත් නිකුත් කිරීම ද හෙටදින සිට ආරම්භ කෙරෙන අතර ඔවුන් සේවය කරන ආයතනයේ හැදුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍යම කටයුත්තකට හැර පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට කටයුතු නොකළ යුතු බව සාමාන්‍ය මගී ජනතාව වෙත නිවේදනය කරනවා.