රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතුය යන්න තම අපේක්ෂාව නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒවා දියුණු කිරීම පමණක් එම ආයතන විසින් සිදුකළ යුතු බවයි.
ඒ සඳහා අවශ්‍ය ආදායම් ජනනය කිරීම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම, වියදම් හා නාස්තිය පාලනය කිරීම රාජ්‍ය ආයතන විසින් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සහ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ වෙහෙසී වැඩකරන ජනතාව උපයන ආදායමින් එබැවින් එම ආයතන ජනතාවට බරක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෙසු රටවල් සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ද බලවත් පරිහානියක් සිදුව ඇති අතර පවතින තත්ත්වය හමුවේ ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.