ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම මේ මස 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද(18) කැඳවනු ලැබුවේය.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් ගොනු කළ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවවේදී පෙත්සම්කරු හෝ පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී සිටියේ නොමැති බව වාර්තා වේ.
එහිදී වගඋත්තරකාර සමගි ජන බලවේගයේ නායක හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නියෝජනයක් නොමැති බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම ලබන 22 වැනිදාට කල් තැබීය