News Line| Off Air
Generic placeholder image

May
19

රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනපති කියයි

629 Views


රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනපති කියයි

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස අද(19) පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස සඳහන් කළා.

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල අභිමානවත්ව පැවැත්වුණා.

ලෝකයේ බලවත්යැයි හඳුන්වන රටවල නායකයින් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට ඉඩ නොදෙන බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එවැනි පසුබිමක අප වැනි කුඩා රටක අසීමිත කැපකිරීමක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සැමවිටම කැපවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

යුද හමුදාවේ වසර 20ක් සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු දස වසරක් ආරක්ෂක ලේකම්වරයෙකු සහ පුරවැසියෙකු ලෙසත් රණවිරුවන් කළ කැපකිරීම් පිළිබඳව තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි රාජපක්ෂ මහතා පැවසුවා.

යුද්දයේ වේදනාව තමා හොඳින් හඳුනන බැවින් විශාල පරිත්‍යාගයක් කළ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් නොතබන බවද එතුමා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post