News Line| Off Air
Generic placeholder image

Jun
23

රාජිත, පාඨලී, අර්ජුන හා අනුර අද ජනපති කොමිසමට කැදවයි

836 Views


රාජිත, පාඨලී, අර්ජුන හා අනුර අද ජනපති කොමිසමට  කැදවයි

රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (23) දිනයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුව කැදවා තිබෙනවා.

අද පෙරවරු 11.30 ට ඔවුන්ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව කොමිසම මඟින් සිදුකෙරෙන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් පසුගියදා නම් කරනු ලැබීය.

ඊට අමතරව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර යන අයට ද අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි භාර දී ඇති බව වාර්තා වෙයි.

මේ අතර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ද අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ ඔහු විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත සහභාගි කරවිය නොහැකි බව නීතිපතිවරයා කොමිසමට දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාළ පනතේ 16 වන වගන්තියට අනුව ඒ සඳහා නීතිපතිවරයා වෙත ප්‍රතිපාදන සලසා නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post