වනාතවිල්ලුවේ එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100 ක් පමණ විනාශ කර ඇති බවට වාර්තා වෙනවා. යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත වන සංහාරය මාස ගණනවක් තිස්සේ සිදු කර ඇති බව සදහන්. මේ අනුව ඉතා පැරණි ගස් කපා රහසේ රැගෙන ගොස් ඇති බවත් ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබු වීර , බුරුත වැනි ගස් ද යාන්ත්‍රික උපකරණ යොදා ගනිමින් කපා දැවැන්ත පරිසර හානියක් සිදු කර තිබෙන බවයි දක්නට ලැබෙන්නේ.
මෙම වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මීටර් කීපයක් නුදුරින් පිහිටා තිබෙන අතර විල්පත්තුව සැරිසරන අලි ඇතුන් හා අනෙකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ සැරිසරන ආකාරය නිරන්තරයෙන්ම දැකගත හැකි බවත් මෙම වන විනාශය සමග වන සතුන් ගම්මාන වෙත තව තවත් කඩා වැඩිම සිදු වීමේ අවදානමක් පවතින බවයි පරිසරවේදීහු සදහන් කරන්නේ.
මේ අතර මෙසේ වනාන්තර විනාශ කර දමා ඉඩම් විකිණීමේ ජාවාරමක් ද ක්‍රියාත්මක බවයි වැඩි දුරටත් සදහන් වන්නේ. කෙසේ වෙතත් මේ පවතින තත්වය පිලිබදව බලධාරීන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර යුතු බව පරිසරවේදීහු වැඩි දුරටත් සදහන් කරනවා.