News Line| Off Air
Generic placeholder image

Sep
9

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක්

1091 Views


ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක්

ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව “කේබල් කාර්“ ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමු ව තිබේ.

මෙම “කේබල් කාර්“ ව්‍යාපෘතිය ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවකි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන් සමඟ ඊයේ(08) සංචාරක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

වනවාසී රාහුල හිමියෝ මෙම සාකච්ඡාවේ දී ඇමතිවරයාට පෙන්වා දුන්නේ ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට හේතුවන බවය.

ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් සංඛ්‍යාවක් ඇති එකම ස්ථානය මෙය බව වාර්තා වේ. එය අක්කර 760කින් සමන්විතය.

මෙරටට ආවේණික හා ආවේණික නොවෙන පක්ෂි වර්ග 18ක් එහි වෙසෙන බවත්, ශාඛා විශේෂ 72ක් හා කෘමී විශේෂ 75ක් ඇති බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50ක් පැරණි යැයි සැලකෙන රෝස තිරිවානා නිධිය අක්කර 250ක භූමි භාගයක විසිරී ඇත.

මෙම නිධියේ රෝස තිරිවානා ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයා සිය පෙම්වතිය සිහි කිරීමට ඉදිකළ ටජ් මහල් මන්දිරයේ ජනෙල් අලංකරණයට ද යොදවා ගෙන ඇතැයි පැවසේ.

ක්‍රි.පූ.තුන්වෙනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිඳෙන මෙම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘතය අනුව ක්‍රි.ව.924 දී මෙරට රජ කළ දප්පුල රජු විසින් මෙය අභයභූමියක් ලෙස නම්කර ඇති බව පුරාණ සෙල්ලිපිවල සඳහන් වන බව ද වනවාසී රාහුල හිමියෝ ඇමතිවරයාට මෙහිදී පෙන්වා දී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post