ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන මෙරට ප්‍රධානතම 20-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීම අද සිදු කිරීමට නියමිතයි.
අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර අැති ලැයිස්තුවෙන් දේශීය ක්‍රීඩකයින් 165 කු තෝරා ගැනීමට නියමිතයි.
එම ලැයිස්තුවට අමතරව බහුතරයක් නැගී එන සංචිතය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඇතුළත් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ඒ ඒ කණ්ඩායම් අයිතිකරුවන්, පුහුණුකරුවන් හෝ කණ්ඩායම්වල හිමිකාරීත්වය විසින් නම් කරන ලද පිරිසක් විසින් සිදුකරන අතර, කුසපත් ඇදීමකින් අනතුරුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පල්ලේකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි.
කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක් පැවැත්වෙන තරගාවලිය අවසන් මහ තරගය ද ඇතුළුව සමස්ත තරඟ 23 කින් සමන්විතයි.