පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාෙග් මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් නැමැත්තා මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අද අලුයම මියගියා.
ඒ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවක් අතරතුර මදූෂ්ට වෙඩි පහරක් එල්ල වීමත් සමගයි.
අද අලුයම තෙක් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි මාකදුරේ මදූෂ් මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක කන්ජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබද තොරතුරු හෙළි කරමින් සිට තිබුණා.
ඒ් අනුව එම නිලධාරීන්ගේ නියෝගයක් මත මදූෂ් අදාළ ස්ථානයේ සිටි පිරිසට දුරකතනයෙන් අමතා තමන් එම ස්ථානයට පැමිණෙන බව ඔවුන්ට දැනුම් දී තිබෙනවා.
ඉන් අනතුරුවයි නිලධාරීන් පිරිස මදූෂ්ව රැගෙන එම ස්ථානයට ගොස් තිබුණේ.
එහිදී අදාළ ස්ථානයේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිස පොලිසියට වෙඩි තබා ඇති අතර එලෙස ඒල්ල වූ වෙඩි පහරකට හසු වූ මාකදුරේ මදූෂ් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
පසුව සකකරුවන් යතුරුපැදියකින් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා.
එම අවස්ථාවේ ඔවුන්ට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව බිම ඇද වැටී තිබුණා.
අනතුරුව නිලධාරීන් එම ස්ථානයට යෑමට උත්සාහ කිරීමේදී සැකකරුවන් පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර යතුරුපැදිය ද එම ස්ථානයේ දමා, පළා යාමටයි කටයුතු කර තිබුණේ.
එලෙස දමා ගිය යතුරුපැදිය සම්බන්ධයෙන් කළ විශේෂ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ එය දින තුනකට පමණ පෙර වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොරකම් කරන ලද්දක් බවයි.
දෙපිරිස අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදී තුවාල සිදු වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු ද ජාතික රෝහලටඇතුළත් කෙරුණා.
එක් නිලධාරියෙකුෙග් පපු ප්‍රදේශයටත් අනෙක් නිලධාරියාගේ කලවා ප්‍රදේශයටත් වෙඩි වැදීමෙන් තුවාල සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ, සිද්ධිය වූ නිවාස සංකීර්ණයේ තිබී රුපියල් කෝටි 22ක වටිනාකමකින් යුත් මත්කුඩු කිලෝ 22ක් සහ ගිනි අවි 2ක් සගවා තිබියදී සොයාගත් බවයි.
මරණයට පත් වූ මදූෂ්ගේ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව එය ඔහුගේ නීත්‍යානුකූල බිරිදට භාර දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය කළ නියෝගයකට අනුව අද දහවල් සිරුර මදූෂ්ගේ නිත්‍යානුකූල බිරිද වෙත භාර කෙරුණා.
මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසකට චෝදනා ලැබ සිටි මාකදුරේ මදූෂ් මෙරටින් පළා ගොස් ඩුබායි හි සැගව සිටියා.
ඔහු ඇතුළු පිරිසක් හෝටලයක සාදයක් පවත්වමින් සිටි අවස්ථාවක එරට පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ, පසුගිය වසරේ පෙබරවාරි මස 5 වැනිදායි.
පසුව ඔවුන්ව එරටින් පිටුවහල් කෙරුණා.
පසුගිය වසරේ මැයි මස 5 වැනිදා ඔවුන්ව මෙරටට රැගෙන ආ අතර මදූෂ්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.
වසර එකහමාරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කෙරුණු අතර ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නේ වැඩිදුර විමර්ශන සදහායි.
පසුගිය දා කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක සගවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10 ක් සොයාගත්තේ ද මදූෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.
එමෙන්ම ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් රුපියල් කෝටි 33කට අධික හෙරොයින් කිලෝ 33ක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී තිබෙනවා.
එමෙන්ම මදූෂ් පුහුණු කළ ඔහුගේ ගෝලයින් කිහිප දෙනෙකුම විටින් විට පොලිස් අත්අඩංගුවට පත් වන්නේ අපරාධකරුවන් සොයා දියත් කරන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙසයි.
ඔවුන් සම්බන්ධයෙන් වන පරීක්ෂණ ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.