නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බස්නාහි පළාතේ, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ජීවනෝපාය අහිමි වූ, සහන ලැබිය යුතු බව හඳුනාගත් පවුල් සඳහා රුපියල් පන්දහසේ දීමනාව යළි ලබාදීමට කටයුතු සැළසුම් කර තිබෙනවා.
එමෙන්ම සෞඛ්‍ය අංශවල තීරණයට අනුව දිවයින පුරා නිවසේවල නිරෝධායනයට යොමු කර සිටින සියලු පවුල් සඳහා රුපියල් දස දහසක් වටිනා සහන මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙළ ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අදාළ සහන ලබාදීම සම්බන්ධ සම්බන්ධීකරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, ග්‍රාමීය කමිටු සහ ආරක්ෂක අංශ මගින් සිදු කරනු ඇති.
බස්නාහිර පළාත තුළ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය ආදිය නිවෙස් කරා ගෙනගොස් අලෙවි කිරීමේ ක්‍රමවේදය ද මෙම කාලය තුළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.
එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික කටයුතුවල නිරත වන පුද්ගලයින්ට එම නීතිය බාධාවක් නොවන බවයි රජය දැනුම් දෙන්නේ.