ඉදිරි සිව් වසර සඳහා ඇමරිකාවේ පාලන බලය හිමිවිය යුත්තේ කාට ද යන්න පිළිබඳ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම මෙවර පැවැත්වෙන්නේ කොරෝනා වෛරසයෙන් ලොව සියලු රටවල් පරදා ඇමරිකාව ප්‍රමුඛ ස්ථානය ගෙන සිටින පසුබිමකදී වීම ද විශේෂත්වයක්.
මෙවර ජනාධිපති සටනේදී රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වදින වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින්නේ හිටපු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බයිඩ්න් මහතායි.
අපේක්ෂකයින් දෙදෙනාම අවසන් මොහොත දක්වාම අති ප්‍රභල මැතිවරණ ව්‍යාපාරයක නිරත වුණා.
ජාතික මට්ටමේ මත විමසුම්වලට අනුව ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියත්, තියුණු තරගයක් පැවතිය හැකි ප්‍රාන්තවල ප්‍රතිඵලය මත මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා තීරණය කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වනවා.
ජනගහණය අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හිමිවන ඡන්ද විද්‍යාල සංඛ්‍යාව වෙනස් වන අතර, ඡන්ද විද්‍යාල 270 ඉක්මවා ජය ලබන අපේක්ෂකයා, ධවල මන්දිරයට තේරී පත්වනු ඇති.
මෙවර මැතිවරණයේ ජයග්‍රහකයා ලබන වසරේ ජනවාරි 20 වැනිදා ජනපති ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
78 හැවිරිදි ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත්, ඔහු ඇමරිකානු ජනපති ධූරය දරන වයස්ගතම ජනාධිපතිවරයා බවට පත්වන අතරම බලයේ සිටින ජනාධිපතිවරයෙකු පරදා ප්‍රතිවාදි අපේක්ෂකයෙකු වසර 28කට පසු ලබන එම ජයග්‍රහණය එරට ඉතිහාසයට එක්වනු ඇති.
මින් පෙර එවැනි සිදුවීමක් වාර්තා වූයේ 1992 වසරේදී වන අතර එම වසරේ බලයේ සිටි රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් පරදා ඩිමොක්‍රටික් පක්ෂයේ බිල් ක්ලිංටන් ජනාධිපති ධූරයට පත් වුණා.
මේ වනවිට ආරම්භ වී ඇති ජනාධිපතිවරණ ඡන්ද විමසීමට සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඇමරිකානුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.





