මොණරාගල බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සහ බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, ඊයේ ඇති වූ මෙම සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
එම නියාමකවරයාට මියගිය රැඳවියා පහර දී ඇති බවට අනාවරණ වී ඇතැයි ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
ඒ සඳහා මැදිහත් වූ සෙසු බන්ධනාගාර නිලධාරීන් සහ තවත් රැඳවියන් පිරිසක් අතර ගැටුම දුරදිග ගොස් තිබුණා.
එහිදී සිදු වූ පහර දීමකින් තුවාල ලැබූ අදාළ රැඳවියා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
අදාළ සිද්ධිය මුල්කරගනිමින් බන්ධානාගරයේ නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමට සිදුවුණා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ගමගේ නිලන්ත නැමැත්තෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිය බලය අයුතු ලෙස යොදවා ඇත්නම් ඊට අදාළව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියා.