වෛරසය මර්දනය කළ හැකි එන්නතක් නිශ්චිතවම සොයා ගන්නා තෙක් මෙරට තුළ එම පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පැවැතිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසුවේ, ඉදිරි වසර දෙක තුනක් දක්වා මෙම අවදානම පැවැතිය හැකි බවයි.
සුගිය සති හතර තුළදී වෛරසය ව්‍යාප්ත වීම බරපතල ලෙස වර්ධනය වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළා.
ඉකුත් මාර්තු මාසයේ සිට රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩු වුව ද යළිත් එය වේගවත් වී ඇති බව පවසන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ, මාර්තු, අප්‍රේල් කාල වකවානුවල පැතිර ගිය වෛරසයට වඩා මෙය වෙනත් ප්‍රභේදයකින් පැතිර යන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සොයාගෙන ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා පළ කළ අදහස් පහතින් :
“ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සොයාගෙන තිබෙන කරුණු අනුව මේ වෛරස ප්‍රභේදය කලින් සොයාගෙන තිබුණු ප්‍රභේදවලට වඩා බෝවීමේ ප්‍රවණතාව සහ වයිරස සාන්ද්‍රණය ඉහළයි. ඒ නිසා වැඩි වශයෙන් පැතිරෙන්න ඉඩ තිබෙනවා. කොළඹ, මිනුවන්ගොඩ, පෑලියගොඩ, බේරුවල තත්වයන් අනුව පරේෂකයින්ගේ සොයා ගැනීම බොහෝ දුරට නිවැරැදි බව අපිට පැහැදිලි වෙනවා. මේ දැනුම අපිට මුලින් තිබුණේ නැහැ. රෝග වැළැක්වීමේ කටයුතුවලට මේ නව දැනුම වැදගත් වෙනවා. අද වනවිට වැඩිපුර සාකච්ඡාවට ලක්වෙන්නේ වයිරසය සමාජගත වීම ගැන. සමාජගත වීම කියන්නේ මූලාශ්‍රය සොයාගන්න බැරි වුණු තත්වයක්. අපිට තියෙන අත්දැකීම් අනුව සියයට අනූපහකට වැඩි ප්‍රමාණයක මූලාශ්‍රය සොයාගන්න හැකි වී තිබෙනවා. නමුත් රෝග ලක්‍ෂණ නොමැති ආසාදිතයින් සමාජයේ සිටීමේ අනතුරක් තිබෙනවා. මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. මේ වයිරසය පැතිරීම පිළිබඳව අපි ලබාගත්ත දැනුම හැමදාම අලුත් වෙනවා. එන්නතක් නිශ්චිතවම සොයා ගන්නාතුරු සහ මිනිසාගේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වනතුරු මේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අවුරුදු දෙක තුනකට අදාළව පොදු යාන්ත්‍රණයක් සකස් කරගන්න ජාතික ජන බලවේගය හැටියටත් ජාතික විද්වත් සංවිධානය හැටියටත් අපේ උපරිම සහයෝගය ලබාදෙන්න සූදානම්..”