තුන්වන අවදානම් මට්ටමේදී කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර 55කට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, තෙවැනි අවදානම් මට්ටමේදී පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යාන, සැණකෙළි, සංගීත සංදර්ශන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා හා නවාතැන් සපයන ස්ථාන සම්පූර්ණයෙන් වසා තැබිය යුතු වනවා.
අදාළ මාර්ගෝපදේශ මාලාවට අනුව මහජන රැස්වීම්, එළිමහන් උත්සව, ගෘහස්ථ උත්සව ආදිය සම්පූර්ණයෙන් තහනම් වන අතර අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම තහනම් වනවා.
පෙරපාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, අවන්හල්, බේකරි, හෝටල් සහ විවේකාගාර, සුපිරි වෙළෙඳසැල්, සාප්පු සංකීර්ණ, විවෘත වෙළෙඳපොළ, ආර්ථික මධ්‍යස්ථාන විවෘත කළ හැක්කේ එහි සමස්ත ඉඩ ප්‍රමාණයෙන් සියයට 50ක් පමණයි.
කොණ්ඩා සැකසුම් ස්ථාන, ව්‍යායාම මධ්‍යස්ථාන, රෙදි සේදුම් ස්ථාන, ඇඳුම් මසන ස්ථාන හා මූල්‍ය ආයතන සඳහා ද එම නිර්දේශය බලපැවැත්වෙනවා.
සෑම පූජනීය ස්ථානයකම පුද්ගල සහභාගීත්වය එකවරකට පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සීමා කළ යුතු බව ද එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.
අවංගල්‍ය උත්සවයකට උපරිම පුද්ගලයන් 25 දෙනෙකුට පමණක් සහභාගි වීමට අවසර හිමිවන අතර මංගල උත්සවයකට සහභාගි කරගත හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 50ක්.
කෙසේ වෙතත් රජයේ කාර්යාල, රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ඖෂධහල්, රසායනාගාර, පෞද්ගලික අංශයේ ආයතන, ඉදිකිරීම් ස්ථාන ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අවම සේවක සංඛ්‍යාවක් සමඟ පවත්වාගෙන යා යුතු වනවා.
එමෙන්ම මධ්‍යසාර අලෙවිසැල්, ආහාර පිටතට රැගෙන යාම සිදුකරන අවන්හල් හා කෘෂිකාර්මික ස්ථාන ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් මත පවත්වාගෙන යාම සිදුකළ හැකි බව ද අදාළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.
බස් රථ හා දුම්රිය ආසන ධාරිතාවෙන් සියයට 75 ක් දක්වා මගීන් ප්‍රවාහනය කළ හැකිවන අතර වෙනත් වාහනවල මගී සංඛ්‍යාව එහි ආසන ගණනින් සියයට 50කට සීමාකළ යුතු වනවා.
එමෙන්ම පුද්ගල දුරස්ථභාවය මීටර එක හමාරක් ලෙස පවත්වා ගැනීමට ද අදාළ මාර්ගෝපදේශ මාලාවෙන් නිර්දේශ කර තිබෙනවා.