අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ නිකවැරටිය ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් දේපළ රැසකට හානි සිදුව තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් නිවාස 231කට සහ ව්‍යාපාරික ස්ථාන 24කට අර්ධ හානි සිදුව ඇති බවයි.
එම ස්ථානවල වහලවලට හානි සිදු වී ඇති අතර සිදුව ඇති අලාභය තක්සේරු කිරීම් මේ වනවිට සිදු වෙමින් පවතින බව ද එම මධ්‍යස්ථානය පැවසුවා.
මේ අතර උතුරු පළාතට පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් යාපනය – මහනුවර ප්‍රධාන මාර්ගය අද උදැසන මීදුමෙන් වැසී ගොස් තිබුණා.
වව්නියාව, ඉරට්ටපෙරියකුලම, පුලියන්කුලම, මාන්කුලම ආදී ප්‍රදේශ ආශ්‍රිතව ද දක්නට ලැබුණේ දැඩි මීදුම් තත්ත්වයක්.
මේ අතර අද සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉදිරි පැය 24 සඳහා එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර සියය ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව ද අදාළ නිවේදනයේ සඳහන්.