News Line| Off Air
Generic placeholder image

Nov
14

දීපවාලි උත්සවය අදයි – ජනපති අගමැති සුබ පතයි

1065 Views


දීපවාලි උත්සවය අදයි – ජනපති අගමැති සුබ පතයි

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි.

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපාවලී දිනයේ තවත් චාරිත්‍රයකි.

මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරනවා.

දීපාවලී දිනයේ හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනය ධර්මය රජයන සෞභාග්‍යවත් අනාගතයක් උදාවීමයි.

කොරෝනා වසංගතය හමුවේ සමස්ත ලෝකයම දැවැන්ත අර්බුද රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත්වලට සැනසිල්ලක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දීපවාලි සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

දීපාවලි සමයේ එම සැනසීම වෙනුවෙන් අප රටේත් ලෝකයේත් සියලූ හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි විශ්වාස කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනයේ සඳහන්කර තිබෙනවා.

මේ අතර දීපාවලි දිනයට සුභපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ දීපවාලි උත්සවය ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සළසා දෙන බවයි.

ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස දීපාවලිය ඉතා වැදගත් බවයි මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුභපැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post