ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පශු රෝහලක් ඉදි කිරීම සිය එක් අරමුණක් බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.
මෙරට පශු වෛද්‍ය සේවාව බහුලව තිබුණත්, ජනතාවට සහන මිලකට මෙන්ම පූර්ණ වගකීමක් සහිතව තම සේවාව ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය පශු රෝහල්වල හිඟයක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
එබැවින් ඉදිරි වසර කිහිපය තුළ ලංකාවේ සෑම පළාතකටම පශු රෝහලක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
ඔහු මෙම අදහස් පළ කළේ, ගැටඹේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්.
වර්තමානයේ කිරි නිෂ්පාදනය අතින් ඉහළම ස්ථානයක සිටින මධ්‍යම පළාත තුළ දියර කිරි නිෂ්පාදනය වර්ධනය කර ගැනිම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට එහිදී හමුවක් ද පැවැත්වුණා.
ඒ සඳහා පළාතේ පශු සම්පත් ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා.
මෙහිදී අදහස් දක්වමින් පශු වෛද්‍යවරුන් පවසා සිටියේ දීර්ඝ කාලයක සිට මහනුවර ප්‍රදේශයට ඉමහත් සේවයක් සැලසූ පශු රෝහල පසුගිය කොරෝනා සමයේදී ද ඉතාමත් සහන මිලකට ප්‍රදේශයේ ජනතාවට ඔවුන්ගේ සතුන් වෙනුවෙන් සිය සේවය සැළසූ බවයි.
මේ හේතුවෙන් සත්ත්ව රෝහල ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති අතර කොරෝනා සමයේදී විශාල ආදායමක් රජයට අත් කර දීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.
එම නිසා දිවයිනේ සෑම පළාතකම රජයේ පශු රෝහල් ඇති කිරීම මගින් රජයට විශාල ආදායමක් ලබා ගත හැකි බවත් ඔවුන් එහිදී පෙන්වා දුන්නා.
සාකච්ඡාවෙන් පසු දිවයිනේ සෑම පළාතකම එවැනි රෝහලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසයි අමාත්‍යවරයා ඔවුන්ට පවසා සිටියේ.