නව කොරෝනා වෛරසය ලොව පුරා මිනිස් ජීවිත බිලි ගැනීම ආරම්භකර ඊයේ දිනයට වසරක් සපිරෙනවා.
නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙක් පිළිබඳ ප්‍රථම වරට තොරතුරු වාර්තා වන්නේ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන්.
ඒ, පසුගිය වසරේ නොවැම්බර් මස 17 වැනිදායි.
නව කොරෝනා වෛරසය මිනිසෙකුගේ ශරීරයට මුලින්ම ඇතුළු වන්නේ සත්ත්වයෙක් මගින් බව ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙනවා.
2003 වසරේ පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගත්, එමෙන්ම 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් පැවැත්වූ පර්යේෂණවලට දායකත්වය සැපයූ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් මහතා පවසන්නේ, මෙම වෛරසයට සමානකම් දක්වන වෛරස බොහෝ විට වවුලන් තුළ දැකිය හැකි බවයි.
ඉතා කුඩා වවුල් විශේෂයක් වන “රයිනෝලෝපස්” නමැති වවුලන් බොහෝ සෙයින් මීට සමාන වෛරසයක් රැගෙන යන බව පර්යේෂණවලින් හෙළි වී ඇති බවයි මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දෙන්නේ.
ඒ අනුව මිනිසුන් වෙත වෛරසය රැගෙන ආ මූලාරම්භකයා එම සත්ත්වයා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පවසන මහාචාර්යවරයා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ, වෛරසය අතරමැදියෙක් හරහා මිනිස් ශරීරයට ඇතුළු වීමටත් ඉඩ පැවතිය හැකි බවයි.
ශීත කාලයේදී චීන ජාතිකයින් වනසතුන් මාංශ ලෙස ආහාරයට ගැනීම මගින් මෙම වෛරසය මිනිසාට ශරීරගත වන්නට ඇති බවටයි තවදුරටත් ඒ පිළිබඳ පැහැදිලි කළ මහාචාර්යවරයා පෙන්වා දුන්නේ.
කෙසේ නමුත් නව කොරෝනා වෛරසය මිනිසාට ශරීරගත වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත සහ පැහැදිලි තොරතුරක් මෙතෙක් අනාවරණ කරගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් විවිධ මත පවතිනවා.
වෛරසයේ ආරම්භය සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෙවීම සඳහා විශේෂ කණ්ඩායමක් චීනය බලා පිටත්කර යැවීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පසු ජූනි මාසයේදී කටයුතු කළා.
චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් ආරම්භ වූ වෛරසය එරට මෙන්ම ලොව සියලු රටවල ව්‍යාප්ත වී මේ වනවිට මිනිස් ජීවිත දස දහස් ගණනින් බිලි ගෙන අවසන්.
මේ අතර ශ්‍රී ලංකාවෙන් පළමුවරට හඳුනාගත් කොරෝනා ආසාදිතයා වූයේ චීන ජාතික කාන්තාවක් වන අතර ඇය ජනවාරි මස 19 වැනිදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ තිබුණේ සංචාරයක් සඳහායි.
කෙසේ වෙතත් මෙරටදී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඇයට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග එම කාන්තාව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කෙරුණේ, පසුගිය ජනවාරි මස 27 වැනිදායි.
43 හැවිරිදි එම කාන්තාව මසකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබුවා.


එමෙන්ම වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හඳුනා ගත්තේ, පසුගිය මාර්තු මස 11 වැනිදායි.
52 හැවිරිදි එම පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳ කරුණු හෙළි කළ නොහැකි බව නිවේදනය කළ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඔහු ඉතාලි ජාතික සංචාරකයින්ට මඟ පෙන්වන්නෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් බවයි.
ඔහුව ද ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH)යි.
දින 12ක කාලයක් එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු ද මාර්තු 23 වැනිදා පූර්ණ සුවය ලබා පිටව ගියා.

එමෙන්ම මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වන්නේ මාර්තු මස 28 වැනිදායි.
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මිය ගොස් තිබුණේ මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි අයෙක් වන අතර ඔහු වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි සහ දියවැඩියා රෝගයෙන් පෙළුණු පුද්ගලයෙක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා.
පළමු රෝගියා වාර්තා වීමත් සමග ආරම්භ වූ රෝග ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු මස 20 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ද රජය කටයුතු කළා.
වසරේ මුල් මාස 6 තුළ විටින් විට කොරෝනා රෝගීන් වාර්තා වුව ද ජූලි මාසයේ සිට මාස තුනක පමණ කාලයක් කිසිඳු රෝගියෙකු මෙරටින් වාර්තා නොවීමත් සමග ජන ජීවිතය යළිත් යථා තත්ත්වයට පත් වුණා.
කෙසේ වෙතත් මෙරට තුළ යළිත් කොරෝනා වෛරසය හිස ඔසවන්නේ ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් වෛරසය ආසාදිත කාන්තාවක් හඳුනා ගැනීමත් සමගයි.
ඇය කොරොනා ආසාදිතයෙක් බව හඳුනාගත්තේ පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදායි.
ඒ සමගින් ආරම්භ වූ තෙවැනි කොරෝනා රැල්ල මේ වනවිටත් මෙරට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා.
දිවලපිටියෙන් හඳුනාගත් ආසාදිත කාන්තාව සේවය කළ මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්හලක් වන බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ විශාල සේවකයින් පිරිසක් ඊට ගොදුරු වුණා.
ඉන් ආරම්භ වූ ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 66ක්.
එමෙන්ම මේ දක්වා මෙරට තුළ කොරෝනා වෛරස ආසාදිත සම්පූර්ණ සංඛ්‍යාව 18,075ක් වන අතර ඉන් පුද්ගලයින් 12,587ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
රෝහල් තුළ සහ රෝගීන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන තුළ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් ගණන 5,422ක්.
රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ එක්ව සංචරණ සීමා පැනවීම, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම, රෝගීන් වාර්තා වන ප්‍රදේශ හුදෙකලා කිරීම වැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.
මේ අතර ලෝක සෟඛ්‍යෙ සංවිධානයේ දත්ත අනුව ඊයේ පස්වරුව දක්වා ගෝලීය වශයෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,324,249ක්.
එමෙන්ම ගෝලීය වශයෙන් ආසාදිතයින් ලෙස තහවුරු කළ සංඛ්‍යාව දැක්වෙන්නේ 54,771,888ක් ලෙසයි.
ආසාදිතයින් ලෙස සැක සහිත සංඛ්‍යාව 456,751ක්.


මේ අතර කොරෝනා දත්ත වාර්තා අනුව තවමත් ඉදිරියෙන් සිටින්නේ ඇමරිකාවයි.
එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 54,000 ඉක්මවා ගියේ, ඉකුත් පැය 24 තුළ සිදුවූ මරණ 1,615ත් සමගයි.
ඇමරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 16 ලක්ෂය ඉක්මන අතර ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වන නව ආසාදිතයින් ගණන එක් ලක්ෂ 57,261ක් බව නවතම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
