අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය තැන්පත්කර ඇත්තේ මහව පිහිටි නිවසේයි.
දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා.
ටී.බී. ඒකනායක මහතා කලක සිට රෝගාතුරව කුරුණෑගල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ මිය ගියා.
මියයන විට ඒ මහතා 66 වැනි වියේ පසු වුණා.
1977 වසරේ පැවති මහමැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් ඒ මහතා දේශපාලනයට පිවිසියා.
1992 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවට තේරි පත්වන ටී.බී. ඒකනායක මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1994 වසරේදීයී.
සංස්කෘතික සහ කලා කටයුතු පිළිබද අමාත්‍ය ඇතුළු නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් නොවන අමාත්‍ය ධූර රැසක් ද ටී.බී. ඒකනායක හොබවනු ලැබුවා.
එමෙන්ම ටෙලිනාට්‍ය රංගනයට, නිෂ්පාදනයට මෙන්ම අංග රචනයට ද ඒ මහතා සිය දායකත්වය ලබා දුන් අතර සම්මානනීය ටෙලි නාට්‍යය වන යුග විලක්කුව, කටු ඉඹුල, කරුවල ගෙදර, මහතලා හටන සහ ගිරිකුල ඇතුළු ටෙලි නාට්‍යය රැසකට සිය රංගන හැකියාව මුසු කළා.
එමෙන්ම ටී.බී. ඒකනායක මහතා තීරු ලිපි මෙන්ම ග්‍රන්ථ කිහිපයක් ද රචනා කරමින් සිය ලේඛන හැකියාව ද ප්‍රකට කළ අයෙක්.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහව ටී.බී. ඒකනායක ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු තුනට සිදු කිරීමට නියමිතව තිබෙනවා.